Monday 27 November 2017

මෙහි උපුටා දක්වන්නේ ‘ලංකාදීප’ පුවත්පතෙන් ලබාගත් දැන්වීමකි.
එහි සඳහන් වන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වැලිපිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින තත්ත්වය පිළිබඳවය.
'
“වැලිපිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 20ක් ඇත. ඒ සෑම ග්‍රාම නිලධාරි වසමකම වල් ඌරන්ගෙන්, මොනරුන්ගෙන්, ඉත්තෑවන්ගෙන් හා වඳුරන්ගෙන් වන හානිය ඉහළ ගොස් ඇති බව සඳහන් කළ යුතුව ඇත.
.
මෙම ප්‍රදේශවල ගොවීන් විශාල පිරිසක් මඤ්ඤොක්කා අල බතල වගා කරමින් ඉතා සරු ඵලදාවක් ලබා අතමිට සරුකරගත් අතර අද ඔවුන් වගාවලින් ඈත්වී ඇත. වන සතුන්ගෙන් වන හානිය නිසා එම ගොවියෝ අසරණභාවයට පත්ව සිටිති. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල වී ගොවිතැන් කරන ගොවියෝ අද එම ගොවිතැනින් ඈත්වීමට පටන් ගෙන ඇත. ගොයම පැසෙන කාලයට දිවා කාලයේ මොනරුන් රංචු පිටින් පැමිණ වී කන අතර රාත්‍රී කාලයේදී වල් ඌරන් රංචු පිටින් පැමිණ වගාව විනාශ කරමින් වී ගිලා බාති.”
.
කෘෂිකර්මයට හා කෘෂිකාර්මිකයන්ට වන සතුන්ගෙන් එල්ල වී තිබෙන අතිවිශාල හානිය පාලනය කරගැනීමට ලංකාව, අසමත්ව තිබෙන්නේ පිං පව් සංකල්පය මුල් කරගත් ආගමික විශ්වාසයට අනවශ්‍ය තරමට අනුගත වී සිටීම නිසාය. එම වැරදි ආකල්පය රජයේ ප්‍රතිපත්ති කෙරෙහිද බලපා තිබේ. සතුන් මරා උන්ගේ මස් ආහාරයට ගැනීම පාපයක් ලෙස සැලකිය යුත්තේ එම අදහස් ප්‍රචලිත කරන ආගම්වල පූජකයන් මිස ගිහියන් නොවේ. පූජකයන්ට මස් කෑමෙන් වැළකී සිටිය හැකිය. ඔවුන් වැදගත් කොට සලකන්නේ එලොව ජීවිතය මිස මෙලොව ජීවිතය නොවේ. ගිහියන්ට මෙලොව ලෞකික ජීවිතයක් තිබෙන්නේය. ඔවුන්ට ජීවත්වීමට ආදායම් මාර්ග තිබිය යුතුය. ආදායම් උපයා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. කසාද බැඳිය යුතුය. දරුවන් හැදිය යුතුය. ඒ දරු පවුල නඩත්තු කළ යුතුය. එවැනි ජීවිතයක් ගත කරන අයට මාංශජනක ආහාර අත්‍යවශ්‍යය.
.
ලිංගික ජීවිතයක් පැවිද්දන්ට අකැපය. එහෙත් ගිහියන් ලිංගික ජීවිතයක් පවත්වාගෙන යා යුතුය. සාර්ථක ලිංගික ජීවිතයක් සඳහා පවා මාංශජනක ආහාර අත්‍යවශ්‍යය. දරුවන් වදන අම්මලාටද මාංශජනක ආහාර අත්‍යවශ්‍යය. කුඩා දරුවන්ගේ මොළේ වර්ධනයටද මාංශජනක ආහාර අත්‍යවශ්‍යය. කය වෙහෙසා වැඩ කරන මිනිසුන්ටද මාංශජනක ආහර අත්‍යවශ්‍යය.
.
" පැවිද්දන් ජීවත්වීම සඳහා කය වෙහෙසා වැඩ කරන්නේ නැත. ඔවුන්ට ලිංගික ජීවිතයක් ගතකිරීමද අකැපය. ඔවුන් විවාහ වන්නේ නැත. දරුවන් හදන්නේද නැත. ඒ නිසා ඔවුන් එළවළු ආහාරවලට සීමාවූ ජීවිතයක් ගතකිරීමෙන් සමාජයට වරදක් වන්නේ නැත. එහෙත් පැවිද්දන්ගේ ලෞකික ජීවිත අඳුරු හෝ කාලකණ්ණි නොකළ යුතුය."
.
" ලංකාවේ තිබෙන ප්‍රශ්නය බොහෝ පැවිද්දන් ගිහියන් පිළිපැදිය යුතු ධර්මතා පිළිපදින විට ගිහියන් පැවිද්දන් පිළිපැදිය යුතු ධර්මතා පිළිපැදීමට උත්සාහ කිරීමය. එය බොහෝ ගිහියන්ගේ ජීවිත අවුල් කිරීමට හේතුවී තිබෙන සාධකයක් ලෙස සැලකිය හැකිය. "
-
රාවය පුවත් පතින්